විද්‍යාත්මක වාස්තවිකතාවයේ අසම්පූර්ණ මිථ්‍යාව

විද්‍යාත්මක දැනුම වූ කලී, නිසැක සහතිකතිාවක් ඇත්තාවු දැනුමේ එකම ස්වරෑපය බව අද පවතින පොදු පිළිගැනීමකි. මේ හේතුවෙන් ස්වභාවික විද්‍යාවන් වාස්තවික (භාහිර වස්තූන් පිළිබදව ) නිරීක්ෂණමත ගොඩනැංවී ඇතැයි යන අදහස ඉස්මතුවී ඇත.
එනම් සාමාන්‍යකරනයට ලක් කළ හා සිද්ධාන්ත ගත කරන ලද උද්ගාමි ( නිදර්ශන මගින් පැහැදිලි කළ හැකි ) විද්‍යාත්මක නිරීක්ෂණ හේතුවෙන් ආත්මීය ( සිතෙහි පවත්නා හැගීම් පිළිබද ) අත්දැකීම් හි වැදගත් බව වියැකී ඇත. ඉහත අදහසින් තහවුරැ වන කාරණා දෙකකි. ඉන් පළමුවැන්න නම් විද්‍යාත්මක ක්‍රමය, ආත්මීය කරුණු ඉවතලා ඇති බවයි. ආත්මීයතාව සැබෑ දැනුමට බාධාවක් වන බවදෙවන තහවුරු වීමයි. මෙම විද්‍යාත්මන දැනුමේ වාස්තවිකතාවය හේතුවෙන් මිථ්‍යා ඇදහිලිවලින් මනුෂ්‍යා නිදහස් කෙරෙන බව නිතර කියවෙන අදහසකි. විද්‍යාවේ වාස්තවිකතාවය පිළිබද ඉහත මතය සාකච්ඡාවට ලක් කිරීම මෙම ලිපියේ අරමුණයි.
විද්‍යාවේ මූලයෝ පෞරාණික ග්‍රීසිය තෙක් විහිද යති. කෙසේ වුවද, ග්‍රීක දාර්ශණිකයෝ තම අවධානය යොමු කළේ විශුවයේ ඇති තර්කාන්විත බව කෙරෙහි පමණි. ගෝකය ගැන ඔවුන් කළ ප්‍රකාශයන් වල පදනම වූයේ මනසින් ගොඩනගා ගත් දෑ හා අදහස්ය. මේවා නිගමන කරා එළඹීමට හේතු විය. සම්පූර්ණත්වයේ අපේක්ෂාවන් හා විඥානවාදි මත වලින් මෙම අවබෝධයන් විචිත්‍රවත් විය. උදාහරණයක් ලෙස ඔවුහු ස්වර්ගීක වස්තූ චක්‍රාකාර කක්ෂවල ගමන්තරතැයි සිතූහ. මන්ද ඔවුන්ට චක්‍රය වඩාත් සම්පූර්ණ හා උත්කෘෂ්ට ජ්‍යාමිතික රූපයක් විය. පර්යේෂණ මගින් ස්වභාවධර්මයේ සත්‍යතාවයන් ගවේෂණය කිරීමට සුළුවෙන් හෝ වෑයමක් ඔවුන්ට නොතිබුන අතර, ඔවුන්ගේ සිද්ධාන්ත වල නිරවද්‍යතාවය තහවුරු කිරීමට ඔවුන් කිසිදු උත්සාහයක් ද නොකළහ.
දහවන සියවසේ යුරෝපයේ ඇතිවූ ප්‍රතිසංස්කරණයත් සමග විද්‍යාව පිළබද තිබූ දැක්ම බලවත් වෙනසකට බදුන් විය. විශේෂයෙන් බ්‍රිතාන්‍යයෙදී දැඩි උච්චාරණයක් විය. දහ හත්වන සියවසේදි ප්‍රැන්සිස් බේකන් විසින් පියවර කීපයකින් උද්ගාමි ක්‍රමය විධිමත් ස්වරූපයකින් ඉදිරිපත් කළ ආකාරය පහත දැක්වේ.
(1) නිරීක්ෂණය හා පරීක්ෂණය
(2) උද්ගාමි සාමාන්‍යකරණය
(3) උපකල්පනය
(4) සත්‍යයේක්ෂණය සත්‍යතාවය තහවුරු කිරීමට තැත් කිරීම
(5) නිවැරදි බව සාධනය හෝ සාධනය නොකිරීම
(6) දැනුම
ඉහත දක්වා ඇති ලෙස නිරීක්ෂණය හා පරීක්ෂණය පිළිබද ප්‍රමුඛතාවයන් සමග විද්‍යාත්මක වාස්තවිකතාවය යන මතය වඩාත් ප්‍රචලිත වූ අතර එය අනුභූතිවාදය
( අත්දැකීම් මත රදා පවතින ) ලෙසින්ද හැදින්වීයත. එය තර්කානුසාරී යථානුභූතවාදය නම් දාර්ශණික ගුරැකුලය බිහිවීමටද හේතු විය. යථානුභූත නොවන එනම් දත්ත ඇසුරෙන් සත්‍යතාවය පැහැදිලි කළ නොහැකි සියළු ප්‍රස්තූතයෝ අර්ථ විරහිත බව ඔවුන්ගේ මතය විය. මෙම නැඹුරුතාවය හේතුවෙන් ආගමික විශ්වාසයන් වැනි සියළුම පාරභෞතිකවාදි අදහස් අවතක්සේරුවට බදුන් විය.

වාස්තවිකතාවයේ අර්බූදය
විද්‍යාත්මක දැනුමේ ඉදිරි ගමනට උද්ගාමි ක්‍රමය වඩාත් සාර්ථක මෙහෙයක් ඉටු කළ ද, දහඅටවන සියවසේ විසූ ඩේවිඩ් හියුම් නම් දාර්ශණිකයා ඒ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්ණ කළේය. “ ගෙවී ගිය අනාගතයන් ගෙවී ගිය අතීතයන් හා සමාන වූ පමණින් අනාගත අනාගතයන් අනාගත අතීතයන් හා සමාන විය යුතු නැත.” එයට හේතුව අප දේවල් අපේක්ෂා කරන්නේ මානසිකව වීමත් එය තර්කාන්විත නොවීමත් නිසාය. තව දුරටත් පවසතොත් උද්ගාමි ක්‍රමයේ එක් මූලධර්මයක් නම් ස්වභාවධර්මය තුළ විධිමත් බවක් උපකල්පනය කිරීමයි. නමුත් ඒ බව අනුභූතිකව පැහැදිලි කළ නොහැක.
දහඅටවන සියවසේ එම්මානුවෙල් කාන්ට් වාස්ථවිකත්වය පිළිබද සැක පහල කළ තවත් දාර්ශණිකයෙකි. බාහිර ලොකයෙන් අප ලබා ගන්නා දත්තයන් අපට අවබෝධ කර ගත හැක්කේ, සියලු මනුෂ්‍යයන් තුළ උපදින්නාවූ මානසික සංකල්පයන් “සමූයක් ” හා වර්ගීකරණයන් ඇසුරෙන් බව හේ පැවසීය. ( උදා: අවකාශය හා කාලය පිළිබද සංකල්පයන් ) මෙහි අදහස නම් දත්ත ආශ්‍රිත “වාස්තවිකත්වයේ පාරිශුද්ධත්වය” අපේ සහජ ආත්මීය අදහස් වලින් “කෙලෙසී” ඇති බවය.
අවසානයේදී කාල් පොපර් උද්ගාමි ක්‍රමයට විකල්පයක් යෝජනා කළේය. උද්ගාමී ක්‍රමයට ඩේවිඩ් හම් දැක්වූ විරෝධය තුළ කාල් පැවසු‍ෙව් විද්‍යාත්මක ප්‍රමේයයන් වල සත්‍යයතාවය ඔප්පු කළ හැකි බවය. ඇත්තවශයෙන්ම ඔහු මෙය විද්‍යාව හා විද්‍යාත්මක නොවන දේවල් අතර වෙනස හුවාදැක්වීමේ මිම්මක් ලෙස භාවිතා කළේය. දැනුම් සම්භාරයක් අප විද්‍යාව ලෙස හදුන්වන්නේ නම්, එහි අඩංගු විය යුත්තේ විද්‍යාඥයන් විසින් පරීක්ෂා කර බලා, ඒවා නිවැරදි නොවන බව සනාථ කළ හැකි ප්‍රස්තූතයන්ය. විද්‍යාත්මක දැනුමේ වර්ධනයක් ඇතිවිය හැක්කේ, මෙලෙස පවතින දැනුමක වැරදිබව ඔප්පුකිරීමෙන් පමණක් බවද ඔහු පැවසීය. පවතින ප්‍රමේයක නිවැරදි නොවන බව තහවුරු වනතාක්, ඊට වඩා සම්පූර්ණ වූ ප්‍රමේයක් බිහිවන්නේද නැත. උදාහරණයක් ලෙස අයින්ස්ටයින්ගේ ප්‍රමේයන් නිසා නිවුටන්ගේ චලිතය පිළිබද න්‍යායන් ප්‍රතිස්ථාපනය විය.

(මතු සම්බන්දයි)

සංස්කාරක සටහන

පැරණි සමාජ උරුමයන්